නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්

2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලදී.

අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ මහතා පත්කරන ලදී.

මේ අයුරින්ම ගරු.මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ඒ. එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් මහතා පත් කර ගන්නා ලදී. කෙසේ වුවද පුරප්පාඩු වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් නොකරන ලදී.

සුවිශේෂී කාරුණු රැසක් හේතුවෙන් වඩාත් ජනතා අවධානයට ලක්වූ නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වීමයි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත.