පරිගණක උපාංග ලෙස සදහන් කරමින් ගුවන් තැපෑලෙන් ආ විදෙස් දුම්වැටි තොගය

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, ගුවන් තැපැල් සේවය ඔස්සේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබී තිබියදී, ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පාර්සලය ඉකුත් ජූලි මස 13 දින කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් වෙත, පරිගණක උපාංග ලෙස සදහන් කරමින් එවා තිබී ඇති අතර කිසිදු හිමිකරුවෙකු මෙම පාර්සලය භාර ගැනීමට මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ආනයන ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත නොපැමිණීම නිසා ඊයේ (11) රාත්‍රී ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්, මෙම පාර්සලය විවෘත කර පරීක්ෂා කිරීම සිදු කෙරුණි. එහිදී එම පාර්සලය තුළ, තවත් පෙට්ටි 08 ක් තුළ ඇසුරූ විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි එක් ලක්ෂ හැට දහසක ප්‍රමාණයක් ද තිබී ඇති බවට වැඩිදුරටත් සඳහන් වෙයි.