රටේ පවතින සහල් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආනයනයට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (22) ඒ මහතා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා කියා සිටියේ, කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස මෙම පත්‍රිකාව ඉදිරිපත් කරන බවත් මේ යටතේ නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් පළමු අදියර යටතේ ආනයනය කරන බවයි.
උත්සව සමයේ පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සහල් සැපයීමේ අරමුණෙන් මේ පියවර ගත් බවද හෙතෙම පැවසීය.
වෙළෙඳපොළේ සහල් හිඟයක් මෙන්ම මිල පිළිබඳ ප්‍රශ්නයක්ද පවතින බවත් කී ඇමැතිවරයා, පසුගිය කාලයේ නාඩු සහල් නිෂ්පාදනය අවශ්‍ය ප්‍රමාණයට සිදු වුවත් ඒවා වෙළෙඳපොළට පැමිණ නැති බවද කියා සිටියේය.
මේ තත්ත්වය හේතුවෙන් අනිවාර්යයෙන් පිටරටින් සහල් ගෙන ඒමට සිදු වන බවත් ඒ අනුව ඉන්දියාවෙන් මේ නාඩු සහල් ප්‍රමාණය ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කීවේය.