කටුනායක ගුවන් තොටුපොළට ජපානෙන් ආධාර තොගයක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනයේ මැදිහත් වීම මත අද (29) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් පර්යන්තයේ පැවති උත්සවයකදී ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත භාර දීම සිදු කර තිබෙනවා .

මෙම පරිත්‍යාග අතර ගිලන් රථ, කසළ ප්‍රවාහන ට්‍රක් රථ, ස්වයංක්‍රීය පැටවීම සිදු කළ හැකි කසළ බදුන්, නවතම සී.- 2 තාක්ෂණයෙන් යුතු ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර ( Scanners ), ගුවන් භාණ්ඩ පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර ( Baggage Scanners ), වැසිකිළි පද්ධති , වෛද්‍ය උපකරණ, ආගමන විගමන නිලධාරීන් සඳහා විද්‍යුත් ආගමන විගමන කවුළු සඳහා අවශ්‍ය උපකරණ ( Electronic Gate ), ගුවන් මගීන්ගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර ( Passport Scanners ) සහ ගුවන් තොටුපොළ විවිධ ස්ථාන වල තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා වන ඩිජිටල් පුවරු ද ඒ අතර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කමොෂිඩා නවොඅකි, ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන්ත කුළසේකර, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම, කටුනායක ගුවන් තොටුපොළ තොරතුරු තාක්ෂණික අංශ ප්‍රධානී උදය ලොකුආරච්චි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ යන මහත්වරුන් ඇතුලු විශාල සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් එහිදී මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.