ලිපි ශීර්ෂයේ වරදින් ඖෂධ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙයි

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ තුන්සිය අටක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රිකාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය සහිතව ඉදිරිපත් කිරීම නිසා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය බවට පත් විය. ඖෂධ මිලදී ගැනීම සඳහා වූ කැබිනට් මණ්ඩල පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂය යටතේ පමණක් ඉදිරිපත් කර තිබූ නිසා එය ප්‍රතික්ෂේප වී ඇත. ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබෙයි.

දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ගැනීමට අදාළව මාස තුනක සිට කැබිනට් පත්‍රිකා යොමු කළ ද ඒවා අනුමත නොවිණි. පළමු වරට එම පත්‍රිකාව ඉදිරිපත් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණය. ඒ අනුව කැබිනට් පත්‍රිකාවේ අඩුපාඩු නිවැරදි කරමින් පසුගිය සතියේ එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැනීමට යොමුකළ අවස්ථාවේදී ඒ සඳහා අනුමැතිය දී නැත්තේ අදාළ කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ පමණක් යොමුකළ නිසා බව වාර්තා වේ.

කෙසේ වුවද මෙතෙක් දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට ලබන වසර (2025) සඳහා ඖෂධ ගැනීමට ඇණවුම් ලබාදී නොමැති තත්ත්වය මත ලබන වසරේ ජනවාරි මාසය වනවිට ඖෂධ සැපයීම සිදුකළ නොහැකි බව දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.