ඉන්දීයාවෙන් අත් අඩංගුවට ගත් ධීවරයින් නැවත කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා සහ ධීවරයින් 11 දෙනා කොළඹ වරායට රැගෙන විත් තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300කට අධික ප්‍රමාණයක් අදාළ යාත්‍රාවල තිබී සොයා ගැනුණ අතර පසුගිය 25 වනදා මෙම පිරිස ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දී තිබුණේ පසුගිය 29 වනදායි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජභාහු නෞකාව මගින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ ධීවරයින් අද පෙරවරුවේ කොළඹ වරායට රැගෙන එනු ලැබුවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මෙන්ම, ඉන්දියානු ආරක්ෂක උපදේශකවරයාද කොළඹ වරාය වෙත පැමිණ සිටි බවයි.