ඩෙංගු මර්දනය සඳහා කියුබානු රජයේ සහාය

වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නව රජය සැළසුම් කරන වැඩසටහන තුළ ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීමට, මදුරු කීට බෝවීම මර්දනය කිරීමට සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර තිබෙනවා.

මෙම කරුණූ අනාවරණය වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා (Andres Marcelo Gonzales Gorrido) අතර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ හමුවක දීය.

මෙම හමුවේදී ඩෙංගු උවදුර මර්දනය කිරීමේ දී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ මෙරට කියුබානු තානපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම, තාක්ෂණික දැනුම, හුවමාරු කර ගැනීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව සඳහන් කළා.

මදුරු කීට මර්දනය සඳහා කියුබාව භාවිතා කරනු ලබන නිෂ්පාදන කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට ද තානාපතිවරයා මෙහිදී කටයුතු කරනු ලැබූ අතර මෙරට ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා කියුබානු විශේෂඥ සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට කියුබානු රජය කැමැත්ත පළ කිරීම පිළිබඳව සිය කෘතඥතාවයද ඇමතිවරයා මෙහිදී පළ කර ඇත.