උතුරේ සැමරුම් ගැන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ පසුගිය වසරවල වෙනත් රටවලදී සිදුකළ උත්සවල ඡායාරූප බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ, අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව උතුරේ එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීමට ඉඩ ලබාදුන් බවට ඇතැමුන් ඒත්තු ගැන්වීමට කටයුතු කරන බවය.

ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ දී යම්කිසි දේශපාලන පක්ෂයක් විසින් මෙවැනි දේ සිදුකරන බවට තහවුරු වූ බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

“උතුරේ එක් පුද්ගලයෙක්. බද්දේගම පදිංචි පුද්ගලයෙක් ඉහත චෝදනා යටතේ නොවැම්බර් 29 අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මීට අමතරව විදෙස් රටවල ඡායාරූප යාපනේ පැවැත්වූ බවට පෙන්වමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කළ මරදාන ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා. ඊළඟට බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඔහු දකුණේ සිලින්ඩරයේ ලකුණින් ඡන්දය ඉල්ලූ පුද්ගලයෙක්. ඔවුන් සංවිධානාත්මකව රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින්, උතුර – දකුණ නැවත ගැටුමකට පසුබිම සකස් කිරීමේ ව්‍යාපාරයක අපිට හඳුනාගන්න පුළුවන් ඔවුන්ගේ වෛරීය ප්‍රකාශ හරහා. විශේෂයෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුම සිලින්ඩරේ ලකුණින් ක්‍රියාකාරීන් විදියට ඉන්නවා. මේ ගැන විමර්ශනයක් කරා සමාජ මාධ්‍ය හරහා මේවා වැඩි වශයෙන් ප්‍රචාරය කළේ කවුද කියලා. බොහෝ දේශපාලන කණ්ඩායම් මේවාට සම්බන්ධ බවට තොරතුරු තියෙනවා.”