පාස්කු ප්රහාරය සම්බන්ධ හෙළි නොවූ තවත් තොරතුරු තිබෙන බව ත් විමර්ශනය සඳහා එම තොරතුරු ලබා දීමට සූදානම් බව ත් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්රික් මන්ත්රි ශාන්ක්යන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කළ හැකි අය සම්බන්ධ කර දෙන්නට හැකි බවද මන්ත්රීවරයා පවසා ඇත.
එමෙන් ම, හිටපු මන්ත්රී පිල්ලෙයාන් හා ඒ ආණ්ඩුව කළ කාරණා තිස්දෙකක් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට තමා විසින් එදා භාර දුන් නමුත් ඊට කිසිදු පියවරක් නොගත් බවට හෙතෙම චෝදනා කළේය.
මන්ත්රීවරයා මේ බව ද පැවසීය.
“මේ ආණ්ඩුව පෙරළන්නවත් කඩාකප්පල් කරන්නවත් විනාශ කරන්නවත් නෙමෙයි අපේ අරමුණ. අපේ අරමුණ ආණ්ඩුවේ හොඳ දේවල්වලට සහාය දීමයි. හැබැයි අපේ ගැටලු නිරාකරණය කිරීම පළමුව පිළිබඳව ආණ්ඩුව ප්රගතිශීලී ඉදිරි වැඩපිළිවෙල ගැන ඉතා ම ඕනෑකමින් බලා සිටිනවා. මේ රට තුළ ප්රධාන වශයෙන් කාරණා තුනක් තියෙනවා. පාස්කු ප්රහාර හා සම්බන්ධ මේ ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා. අපි දන්නවා පිල්ලෙයාන් ගෙන්නලා ප්රශ්න කළා. එතැනින් එහාට අත්අඩංගුවට ගැනීම් පොලිසියේ රාජකාරි. අපි ඒ ගැන කියන්නේ නෑ. හැබැයි පාස්කු ප්රහාරය සම්බන්ධව තව තොරතුරු අපි ළඟ තිබෙනවා. මේ ගැන ආරක්ෂක ලේකම්ට දැනුම් දුන්නා. ආරක්ෂක ඇමැතිතුමත් මෙතැන ඉන්නවා. අපි පාර්ලිමේන්තුවේ කරුණු ගොඩක් මේ පිළිබඳව හෙළි කළා. අපිට අවස්ථාවක් දෙන්න අපිට පුළුවන් තව සාක්ෂි ගන්න පුළුවන් අය සම්බන්ධ කරලා දෙන්න. ඒ වගේ ම වංචා – දූෂණ ගැන මමත් ජාතික ජන බලවේගය කියූ දේවල් ම තමයි පහුගිය කාලෙ කිව්වේ. පිල්ලෙයාන් හා ඒ ආණ්ඩුව කළ කාරණා තිස් දෙකක් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට මා විසින් භාර දුන්නා. කිසි දෙයක් කළේ නැහැ. දැන් ඉන්න ජනාධිපති හෝ අගමැති හරි අපෙන් තොරතුරු ඉල්ලන්න. පිල්ලෙයාන් කොහොමද ඉඩම් ගත්තේ ඔක්කොම තොරතුරු තියෙනවා. මේ ආණ්ඩුවට 159ක් වගේ ඉන්න ආණ්ඩුවක්. මේක පෙරළන්න අපිට ඕනකමක් නැහැ. අපේ පක්ෂයට කොහොමත් බලයට එන්නත් බැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුවේ වැඩවලට අපේ සහාය දෙනවා. ඒ වගේ ම මට අවසාන වතාවට අහන්න ඕනේ මේ බාර් පර්මිට් දුන්න අය ගැන ලැයිස්තුව ඇයි තවම එළියට නොදුන්නේ කියලා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.”