මෙරටින් මාස 10 ක් ඇතුළත ලාදුරු රෝගීන් 1000ක්

මේ වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසා ඇත.

එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සඳහන් කළේ, එම කාලය තුළ රෝගීන් 1,084 දෙනෙකු ද ඒ අතරින් සියයට 68ක් පමණ රෝගය තවත් අයෙකුට බෝකළ හැකි පුද්ගලයින් වන බව හඳුනාගෙන ඇති බවය.

එමෙන්ම හඳුනාගත් ලාදුරු රෝගීන් අතරින් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 115ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 113 දෙනෙකු හඳුනාගෙන තිබෙයි.

මේ අතර රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසයි.

සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම හේතුවෙන් රෝග සුවපත් වීම සඳහා ඖෂධවල ප්‍රතිචාර දැක්වීම සිදුනොවන බවය.