මෙරට ස්මාර්ට් බස් සේවාවක් සඳහ නව ඇප් එකක්

ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති.

එම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ ‘යං ලංකා‘ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන මාතර වැල්ලෙතොට පදිංචි ගිතාජ් කැලුම් රාමවික්‍රම,නායිම්බල පදිංචි ලක්මාල් සංජීව ජයවික්‍රම සහ උඩවලව පදිංචි සමීර තරංග ප්‍රේමනන්ද යන මිතුරන් තිදෙනාය. ඔවුහු දැනට තාක්ෂණික ක්ෂේත්‍රයේ සිය වෘත්තිමය කටයුතුවල නියැලෙති.

පසුගිය 03 වැනිදා මාතර ,නූපේ පිහිටි සණස උත්සවශාලාවේදී මෙම මෘදුකාංගය හඳුන්වාදීම නිල වශයෙන් සිදු කෙරුණ අතර ඊට සමගාමීව ‘යං ‘ලංකා අයතනය හඳුන්වා දීම සහ එහි කටයුතුද ඇරඹිණි.

‘යං‘ ලංකා ආයතනයෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට ‘ස්මාට් බස්‘ රථ සේවාවක් වෙනුවෙන් දොරගුළු විවර කර ඇති අතර මේ වනවිට දකුණු පළාත කෙන්ද්‍රකරගනිමින් මෙම බස් සේවාව අරඹා ඇත.

මෙහි මූලික අදියර ලෙස පෞද්ගලික බස් රථ 8ක් සඳහා මෙම ජංගම දුරකථන මෘදුකාංගය හඳුන්වා දුනි. එමෙන්ම ස්මාර්ට් බස් රථ 8 අතුරින් පළමු ස්මාට් බසය ලෙස වැල්ලෙතොට – මාතර පෞද්ගලික බසය හඳුන්වාදුනි.

ගමනාන්නතයට ළඟාවීම සඳහා අවශ්‍ය බස් රිය සජීවීව දුරකතනය හරහා සොයාගැනීමට, බසය පැමිණෙන වෙලාව ගමනාන්තය නිසි අයුරින් දැන ගැනීම, දෘෂ්‍යාබාධිත පිරිස් වෙනුවෙන්ද මේ මෘදුකාංගය හරහා සිය කටයුතු නිසි පරිදි සිදු කර ගැනීම මෙන්ම පාසල් දරුවන් ගමන් ගන්නා බසය පිළිබඳව මව්පියන්ට නිවැරදි තොරතුරු දැනගැනීම ඇතුළු තවත් පහසුකම් රැසක් මෙම මෘදුකාංගයෙන් අත්විදීමට මගියාට අවස්ථාව සලසා දී තිබෙයි.

එමෙන්ම ඉදිරියේදී මෙම මෘදුකාංගය හරහා ජංගම දුරකතනයෙන් ආසන වෙන් කිරීම, දැනට පෞද්ගලික බස්රථවල පමණක් ක්‍රියාත්මක මෙම මෘදුකාංගය ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා ද හඳුන්වාදීම, මෙන්ම ලංකාව පුරා මෙය හඳුන්වාදීමට කටයුතු සැලසුම් කරන බවද මෘදුකාංගයේ නිර්මාතෘවරු සඳහන් කළහ.

මේ වන විට මාතරින් ගමන් ඇරැඹෙන වැල්ලෙතොට, ඌරුබොක්ක, පස්ගොඩ, පිටබැද්දර, අකුරැස්ස, වැලිගම ,දික්වැල්ල, කැකනදුර , රන්න, අඟුණකොළපැළැස්ස, මාකඳුර යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ 8ක් සඳහා මෙම පහසුකම හඳුන්වා දී ඇත.

https://www.yanlanka.com/ ගූගල් සබැඳිය හරහා ජංගම දුරකතනයෙන් මෙම මෘදුකාංගයට පිවිස එම පහසුකම ලබාගැනීමේ අවකාශය මේ වන විට මගීන්ට සලසා දී තිබෙයි.

එමෙන්ම මෙම බස් රථ 8 අතර ධාවනය කෙරෙන රන්න,අඟුණකොළපැළැස්ස හරහා මාතර දිවෙන පෞද්ගලික පාසල් බසයකටද මෙම මෘදුකාංගය හදුන්වා දී තිබෙයි. ශ්‍රී ලංකාවේ පළමු වරට පාසල් සිසුන් ගමන් ගන්නා බසයක් ‘ස්මාර්ට් බසයක්‘ ලෙස හඳුන්වා දීම තුල ඉතා සුවිශේෂි කාර්යක් ඉටුකිරීමට හැකියාව ලැබිණි යැයි ‘යං‘ ලංකා අයතනය පවසයි.