හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් යාපනයෙන්

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන නමුත් මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න පරීක්ෂණ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පවසයි.

මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබා ගනිමින් පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසීය.

එහිදී තද උණ, තදබල මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, මී උණ රෝගයේ රොගී ලක්ෂණ වන අතර ඒ සමග වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණද ඇති විය හැකි බවත් මෙම රෝගී ලක්ෂණ පවතින්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය දරුණු මට්ටමට පැමිණීම වළක්වා ගත හැකි බවත් එසේ නොවුන හොත් වකුගඩු, අක්මාව, මොලය ඇතුළු ශරීරයේ අවයව සඳහා දැඩි හානි පමුණුවන අතර මරණයට පවා පත් විය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම පසුගිය 2023 වසරේ දිවයින පුරා මී උණ රෝගීන් 9,000කට අධික පිරිසක් වාර්තා වූ බවත් ඉන් රෝගීන් 200කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වූ බවත් එමෙන්ම මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවත් ඇය එහිදී පැවසුවාය.