පුංචි ඡන්දය තියන්න නීති සංශෝධනය කරන්නැයි උපදෙස්

නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්දහිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, තරුණ ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්දහිමි නාමලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවය.

ඊට අමතරව මේ වන විට භාරගෙන තිබෙන නාම යෝජනා අවලංගු කොට අලුතින් නාම යෝජනා භාර ගැනීමට හැකි වන පරිදි නීති සංශෝධනය කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් උපදෙස් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.