කොළඹ හරක් මස් හිඟයක්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට දෛනිකව හරක් මස් කිලෝග්‍රෑම් දසදහසක් අවශ්‍ය වුවත් මේ දිනවලදී එය කිලෝග්‍රෑම් පන්දහස දක්වා අඩු වීම හරහා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇත. එලෙස හරක් මස් අඩුවීම පිළිබඳ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය මොහොමඩ් ඉජාස්ගෙන් වෛද්‍යවරයාපැවසුවේ ඒ සදහා හේතු කිහිපයක් බලපාන බවය.

එම හේතු ලෙස වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ගොයම් කපන සමයේදී ගවයන් ඒ සඳහා අවශ්‍ය වන බැවින් එම කාලයේදී ගවයන් අලෙවි නොකිරීමත්, මිල ඉහළ දැමීමත් ඊට හේතු වී ඇති බවයි.

එමෙන්ම මුස්ලිම් ජාතිකයින්ගේ උපවාස කාලයේදී හරක් මස් අනුභවය ඉහළ යන බැවින් ඒ සඳහා ගවයන් නොමරා එක්රැස් කර තබා ගැනීමක් සිදු කරන බවද වෛද්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් මේ දිනවලදී හරක් මස් කිලෝවක් රුපියල් 2600ත් 2700ත් අතර මිලකට අලෙවි වන අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පමණක් දිනකට ගවයන් සියදෙනෙකු පමණ අවශ්‍ය වේ.

එහෙත් මේ දිනවලදී එම බල ප්‍රදේශයට ලැබෙන්නේ ගවයන් 50ක් පමණ බවද හෙතෙම කීවේය.