අදානිගෙන් අඩුවට විදුලිය ගන්න රජයෙන් සාකච්ඡා

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඩොලර් ශත හයකට විදුලිය මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අදානි සමාගම විදුලි ඒකකයක් වෙනුවෙන් ඇමරිකා ඩොලර් සත 8.25ක මිලක් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

“අපි රජයක් විදියට විශ්වාස කරනවා ඒ මිල වැඩියි කියලා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයකට විදුලිය මිලදී ගන්න අපි සාකච්ඡා කරනවා. රටට වාසියක් වන විදියට ඒ මිල ගණන් සංශෝධනය කරගන්න අප බලාපොරොත්තු වෙනවා. පුනර්ජනනීයම කිව්වාට හරියන්නේ නැහැ.

පුනර්ජනනීය කියන එකේ රටට ලාභයක් තියෙන්නේ ඕනේ. ඒකෙන් පරිසරයට වෙන හානිය පමණක්ම නොවෙයි අපි සලකන්නේ. රටේ ජනතාවට සහ ආර්ථිකයට වෙන බලපෑමත් සැලකිල්ලට ගන්නවා” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.