පනත උල්ලංඝනය කරමින් ගෘහ සේවිකාවන් පන්දහසකට ආසන්න පිරිසක් සංචාරක වීසා මත මැදපෙරදිග රටවලට යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය කාලයේ අනුමැතිය දී තිබේ.
පසුගිය වසර වන විට ගෘහ සේවිකාවන් හාරදහස් නවසිය හතළිස් දෙදෙනෙක් මෙලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට යැවීමට රැකියා නියෝජිතායතනවලට කාර්යාංශය අනුමැතිය දී ඇති අතර එසේ යැවීමේ දී ඇමරිකානු ඩොලර් සියයක් කාර්යාංශයට ගෙවිය යුතු වන කොන්දේසියක් ද පනවා තිබී ඇත. එලෙස යවන ලද ගෘහ සේවිකාවන් තුන්දහස් නවසිය පනස් හතර දෙනකුට රැකියා ලැබුණු බවට වන තොරතුරු කාර්යාංශයේ පරිගණක පද්ධතියට ඇතුළත් කර නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.
මෙලෙස ගෘහ සේවිකාවන් විදේශ ගතකර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව මෙරටින් පිටත සේවා නියුක්තිය සඳහා බැහැර යන සෑම ශ්‍රී ලාංකිකයකුම එසේ පිටත් වීමට පෙර කාර්යාංශයේ ලියාපදිංචි විය යුතුය යන වගන්තිය ද උල්ලංඝනය කරමිනි.
රැකියා ගිවිසුමකින් ද තොරව මෙම ක්‍රමය මත විදෙස් ගතවන්නන් උපරිම දින හතළිස් පහක කාලයක් ඇතුළත සේවා යෝජකයා සමග අත්සන් කරන ගිවිසුම තානාපති කාර්යාලයට ලබා දුන් බවට වන තොරතුරු කාර්යාංශයේ පරිගණක පද්ධතියට ඇතුළත් කළ යුතුය යන නියමය ද ඉටුකර නොමැති බවත් විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර තිබේ. කාර්යාංශ පනතට අනුකූල නොවන ලෙස ශ්‍රමිකයන් විදේශ ගත කිරීමට කාර්යාංශය විසින්ම අනුමැතිය දී තිබූ බවත් විගණකාධිපතිවරයා සඳහන් කර ඇත.