රතු මුහුදේ යාත්‍රා කරන වෙළෙඳ නෞකාවලට යේමනයේ හූති කැරලිකරුවන් විසින් ප්‍රහාර එල්ල කිරීම උත්සන්න වීමත් සමඟ චීන අපනයනකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වන බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරනවා.
ඒ අනුව චීනයේ සිට යුරෝපයට බහාලුමක් අපනයනය සඳහා පසුගිය දෙසැම්බරයේ දී වැය වූ ඩොලර් 3,000ක මුදල දැන් ඩොලර් 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව එවැනි එක් අපනයනකරුවෙකු පවසා ඇත.
චීනයේ නිෂ්පාදිත මෝටර් රථ අප්‍රිකාවට අපනයනය කළ එම අපනයකරු, යුරෝපයේ සිට ‘ඕෆ්රෝඩ්‘ වාහන චීනයට ආනයනය කරනු ලැබූ අතර ඔහු රොයිටර්ස් වෙත පවසා ඇත්තේ, මෙලෙස නෞකා ප්‍රවාහන වියදම ඉහළ යාම නිසා දැනටමත් ක්ෂීණ වී ඇති ලාභය මුළුමණින්ම පාහේ අහිමි වන බවයි.
එමෙන්ම නෞකා භාණ්ඩ ප්‍රවාහනයේ රක්ෂණ ගාස්තු ඉහළ යාම ද චීන අපනයනකරුවන්ට අහිතකර ලෙස බලපා තිබෙනවා.
ලෝකයේ නෞකා භාණ්ඩ ප්‍රවාහනයෙන් 15%ක්ම සිදු වන සුවස් ඇළ හරහා යුරෝපයට ගමන් කිරීමේ නෞකා මාර්ගයට බාධා එල්ල වීම නිසා එම නෞකා අප්‍රිකානු මහාද්වීපය වටා දීර්ඝ නෞකා මාර්ගයක යාත්‍රා කළ යුතු වේ.
සැපයුම්දාම පාර්ශ්වකරුවෙකු ලෙස සහ අපනයන මත රඳා පවතින චීන ආර්ථිකයට රතු මුහුදේ යුද්ධය දැන් කැපී පෙනෙන බලපෑමක් එල්ල කරන බව පෙනී යයි.
පසුගිය අඟහරුවාදා ස්විට්සර්ලන්තයේ ඩාවොස්හි දී ලෝක ආර්ථික සංසදය ඇමතූ චීන අග්‍රාමාත්‍ය ලී චියං ගෝලීය සැපයුම් දාමය ස්ථාවර සහ මෘදු ප්‍රවේශයක පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේ, රතු මුහුද පිළිබඳ විශේෂ සඳහනක් නොකරමිනි.
චීන සැපයුම් අඩාල වීමට පිළියමක් වශයෙන් ඇමෙරිකාවේ කේන්ද්‍රගත ඇතැම් සමාගම් තුර්කිය සහ වියට්නාමය වැනි විකල්ප සැපයුම්කරුවන් වෙත යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.
භූ දේශපාලනික උණුසුම මැද බටහිර රටවල් රැසක් චීනය මත යැපීම පසුගිය කාලය තුළ දී කැපී පෙනෙන ලෙස අඩු කරනු ලැබිණි.
මේ නිසා රතු මුහුදේ අර්බුදය චීන අපනයන සහ සැපයුම් දාම ජාලයට තවදුරටත් අහිතකර බලපෑමක් ඇති කරන බව පැහැදිලි කරුණකි.
චීනයට මතු වන තවත් අවදානමක් වන්නේ, ඉදිරියේදීත් මෙවැනි තත්ත්වයක් ඇති වීම සැලකිල්ලට ගෙන ඇතැම් සමාගම් සිය නිෂ්පාදන ක්‍රියාවලිය තම රටට ආසන්න ව සිදු කිරීමට පෙළඹිය හැකි වීමයි.
ඇතැම් සමාගම් රතු මුහුදේ තත්ත්වය ස්ථිර තත්ත්වයක් ලෙසින් සලකා සිය සම්පූර්ණ යාන්ත්‍රණය වෙනස් කිරීමට පෙළඹී තිබේ.
ඇතැම් සමාගම් චීනයට වඩා යුරෝපීය නෞකා භාණ්ඩ ප්‍රවාහනය සතියකින් වත් කඩිනම් වූ ඉන්දියාව වෙත සිය නිෂ්පාදන කටයුතු රැගෙන යාමට දැනටමත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය දැනටමත් අර්බුදකාරී වී ඇති චීන ආර්ථිකයට තවත් ගැටලුවක් එක් කරන බව නොරහසකි.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ චීනය කෙටිකාලීනව මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ, නව වසර සඳහා කර්මාන්තශාලා වසා දැමීමමට සිදු වීමයි.
ඒ, මිලියන 300ක් පමණ වූ චීන සංක්‍රමණික සේවකයන් සිය ගම්බිම් බලා යාම හේතුවෙනි.