පකිස්තානයට අසාමාන්‍ය වර්ෂාවක්

පකිස්තානයේ නිරිතදිග ප්‍රදේශයට ඇද හැලෙන අසාමාන්‍ය අධික වර්ෂාවෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවනවා.

මියගිය අයගෙන් සමහරක් තිරිඟු අස්වනු නෙළමින් සිටියදී අකුණු සැර වැදී ඇති ගොවීන් බවයි බලධාරීන් පවසන්නේ.

ගොවිබිම් රැසක් වැසි ජලයෙන් වැසී ගොස් ඇති අතර, හදිසි ගංවතුර හේතුවෙන් විදුලිබල සැපයුම් සහ ප්‍රවාහන ජාල ද අඩාල වී ඇති බව සඳහන්.

දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ පොරබදමින් සිටින පාකිස්තානයේ මේ දිනවල ආන්තික කාලගුණික සිදුවීම්වල වැඩිවීමක් අත්විඳනු දැකිය හැකියි.

2022 දී ද අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුරකින් රටේ සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ අතර, 1,700 කට වැඩි පිරිසක් මිය ගොස් දහස් ගණනකට තුවාල සිදුවුණා.

එහිදී මිලියන ගණනකට නිවාස අහිමි වූ අතර මාස ගණනාවක් පුරා පිරිසිදු පානීය ජලය නොමැතිකමින් ජනතාව අපහසුතාවට පත්වනු දක්නට ලැබුණා.

2022 ගංවතුරෙන් පීඩාවට පත් වූ කයිබර් පක්තුන්ක්වා සහ බලුකිස්තාන් ඇතුළු සමහර ප්‍රදේශවලට මෙම අධික වැසි තත්ත්වය හේතුවෙන් නැවතත් බලපෑම් එල්ල වෙමින් පවතින බව සඳහන්.

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර, පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය නායයෑම් සහ හදිසි ගංවතුර පිළිබඳ ජනතාවට අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.