ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු තහවුරු කළහ.
ඉදිරි දිනවලදී ඉරානයට පහර දෙන බව ඊශ්‍රායලය කල් තියා දැනුම් දුන් බවත් ඇමෙරිකාව එම තීරණය දිරිමත් නොකෙරූ බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.
ප්‍රහාරය පිළිබඳ දැනුම් දුන් අවස්ථාවේ ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත හෝ ජනාකීර්ණ ප්‍රදේශවෙත පහර නොදෙනු ඇතැයි ඇමෙරිකාව බලාපොරොත්තු වූ බව එරට බලධාරීහු පැවසුහ.
ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊට යෙදිය හැකි උපරිම ශක්තිය යොදා පිළිතුරු දෙන බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් අනතුරු අඟවා පැය කීපයක් යන්නට මත්තෙන් ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට සහ ඉස්ෆහාන් නගරයට නැගෙනහිර ප්‍රදේශයකට මෙම මිසයිල එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය තහවුරු කළේය. ප්‍රහාරය එල්ල වීමත් සමඟ ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර මෙතෙක් එම ස්ථාන දෙකේ සිදුවූ පිපිරීම් වලින් සිදුවූ හානි පිළිබඳව වාර්තා වී නොමැත.
ඊශ්‍රායල හමුදාව ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීමද මෙම අවස්ථාවේ ප්‍රතික්ෂේප කර ඇත.