අඩු මිලට රජයෙන් අරක්කු බෝතල්

අඩු මිලට රජයෙන් අරක්කු බෝතලයක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෙවණගල ලංකා සීනි සමාගමේ සේවකයින් සහ උක් ගොවීන් සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කෙසේ වෙතත් මෙම උක් ගොවීන් සහ සේවකයින් සමග පැවති සාකච්ඡාව ආවරණය නොකරන ලෙසටයි කර්මාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

පසුගිය රාජ්‍ය පාලනයේ දී බාල වර්ගයේ බඩ ඉරිඟු ගෙන ප්‍රමිතියෙන් තොර අහිතකර අරක්කු නිෂ්පාදනය කර ඇති බවත් මේ හේතුවෙන් සීනි නිපදවීමේ දී ලැබෙන අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව පවතින බව ද කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වාදෙනවා. බාල වර්ගයේ බඩ ඉරිඟුවලින් එතනෝල් ලීටරයක් නිෂ්පාදනයට වැයවන්නේ රුපියල් 03 ක වැනි වියදමක් බවත් අරක්කු බෝතලයක් ජනතාවට ලබාදෙන්නේ රුපියල් 3800ක මිලකට බවත් අමාත්‍යවරයා චෝදනා කරනවා. මේවා පානය කරන පාරිභෝගිකයින් මෙය නොදන්නා බවත් බඩ ඉරිඟුවලින් එතනෝල් නිපදවීම දැඩි ගැටලුවක් බවත් හෙතෙම අවධාරණය කරනවා.

ඒ නිසා රජයක් ලෙස නිසි ප්‍රමිතියකින් යුතුව එතනෝල්වලින් අරක්කු නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ. මෙම ක්‍රියාවලිය අරක්කු ප්‍රවර්ධනයකට උත්සහා ගැනීමක් නොවන අතර නීතිවිරෝධී මත්පැන් භාවිත කිරීමට යොමු වූ අය ඉන් මුදා ගැනීම මෙහි අරමුණ බවත් වාර්තා වනවා.