අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර සිටි සැරයන්ගේ රාජකාරි තහනම්

අධික ලෙස මත්පැන් පානය කර පානදුර උතුර පොලිස් වසමේ කෙසෙල්වත්ත ගරාජයක කාමරයක ඇඳක් මත පොලිස් නිල ඇඳුමින් පිරිසක් සමග නිදාගෙන සිටියදී ස්ථාන මාරු කරන ලද පොලිස් සැරයන්වරුන් දෙදෙනාගෙන් අයකුගේ රාජකාරී වැඩ ඊයේ 23 දින සිට තහනමට ලක් කළ බව පානදුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රාජකාරී සඳහා පිටත්ව ගිය සැරයන්වරු දෙදෙනා අධික ලෙස බීමත්ව සිටින බවට ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව එම ස්ථානයට යාමේදී එක් පොලිස් සැරයන්වරයෙකු සපත්තු යුගලද නොමැතිව වෙරි මතින් තවත් තිදෙනකු සමග ඇඳක් මත නින්ද ගොස් තිබුණි.

අනතුරුව ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එලෙස ඇඳෙයි නින්ද ගොස් සිටි සැරයන්වරයකු පොලිස් නිලධාරින් දෙදෙනකු විසින් කුඩා දරුවකු රැගෙන එන ආකාරයෙන් උස්සා ගෙන පැමිණ පොලිස් ජීප් රථය ට දමාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණ.

මීට මාසයකට පමණ ඉහතදී මෙම සිද්ධිය වී තිබූ අතර ස්ථානාධිපතිවරයා විසින් එම දිනවල ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව පානදුර උතුර පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සිටි සැරයන්වරු දෙදෙනා පානදුර පින්වත්ත සහ බණ්ඩාරගම පොලිසි වලට මාරු කරනු ලැබීය.

පින්වත්ත පොලිසියට මාරු කරන ලද සැරයන් වරයා විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව එම නිලධාරියාව පෙරේදා (22) පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසාන් විජේතුංග මහතා වෙත ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඔහු Benzodiazepines (Bzo) නැමති මධ්‍යයි මේ භාවිතා කර ඇති බවට තහවුරුකර වෛද්‍ය වාර්තාවක් ලබා දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව සැරයන්වරයාගේ රාජකාරී වැඩ ඊයේ (23) සිත ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අධික ලෙස ඇඳෙයි නින්ද ගොස් සිටි සැරයන්වරයා ව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කුඩා දරුවෙකු රැගෙන එන ආකාරයෙන් ජීප් රථය වෙත රැගෙන එන අයුරු වීඩියෝ දර්ශනයක් මීට දින කීපයකට ඉහතදී සමාජ මාධ්‍යවල සංසරණය වන්නට ද විය.