අනුරාධපුර ක්‍රීඩිකාවන් දෙදෙනකුගෙන් මෙරටට රිදී හා ලෝකඩ පදක්කම්

පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ තරගාවලිය නියෝජනය කළ අනුරාධපුර ක්‍රීඩිකාවන් දෙදෙනකු (02) රිදී හා ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්ව තිබේ.

මුදල් නොතකා දරුවන් ජයග්‍රහණ කරා මෙහෙයවන්නට කැපවන ආදර්ශවත් ක්‍රීඩා පුහුණුකරුවකුගේ මඟපෙන්වීමෙන් දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැත්වෙන 11 වන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ තරගාවලියේදී අනුරාධපුර කරාතේ ක්‍රීඩිකාවන් දෙපළකට පදක්කම් ලැබීමට හැකිවීම විශේෂත්වයකි. නැඟෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා නිලධාරි ලෙස කටයුතු කරන අනුර ප්‍රියන්ත විජේසිංහ මහතාගේ නිසි මඟපෙන්වීම මෙම ජයග්‍රහණයන්ට ප්‍රධානතම හේතුව බව ජයග්‍රහණ ලැබූ ක්‍රීඩිකාවන් සඳහන් කර සිටියි. මෙම කරාතේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුරාධපුරයෙන් සහභාගි වූ තරුෂිකා සේනාරත්න ක්‍රීඩිකාව 21න් පහළ කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් තරග කර රිදී පදක්කම දිනාගෙන තිබේ.

එසේම 18න් පහළ කිලෝග්‍රෑම් 59 බර පන්තියෙන් තරග කළ මනුති ඉරුගල්බණ්ඩාර ක්‍රීඩිකාව ද එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වූවාය. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබති.