විදේශ ගමන් බලපත්රයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 6000ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තැපැල් අංශයේ ලිපිකරුවෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
විදේශ ගමන් බලපත්රයක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 6,000ක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේ දී අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් එහි නිලධාරීන් සඳහන් කළේ මෙම සැකකරුට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින බවයි.
ඒ අනුව අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණි.