ඉන්දියාවේ සිදුවූ නායයෑමෙන් මිය ගිය ගණන 200 ඉක්මවයි

ඉන්දියාවට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණයත් සමග කේරළයේ සිදුවූ නායයාමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයෙන් නායයාමක් වාර්තා වුණේ ඊයේ පෙරවරුවේ දීය.

ඉන් සිය ගණනක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින අතර මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දීය යුද සහ නාවික හමුදාව යොදවා ඇති අතර ගුවන් මගින් ද මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.

කෙසේ වුවද පවතින වැසි තත්ත්වය සහ මාර්ග අවහිර වීමෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි.

ඉන්දීය කාලගුණ අංශ පුරෝකතනය කරන්නේ ඉදිරි දිනවලත් ප්‍රදේශයෙන් අධික වැසි වාර්තා විය හැකි බවය.

ඒ අනුව කේරළයේ වයනාඩ් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණ ආපදා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම කේරළයේ දිස්ත්‍රික්ක 10ක පාසල් සහ විශ්වවිද්‍යාල ද වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.