ඔන්ලයින් ක්‍රමයට රාජසන්තක මැණික් හා රන් විකිණෙයි

රේගුව අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද මැණික්,රත්තරන් ඇතුළු භාණ්ඩ විකිණීමට අදාළ ටෙන්ඩර් ලංසු මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ලබන වසරේ (2025) ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය.

ටෙන්ඩර් වලට ලංසු ඉදිරිපත් කරන පුද්ගලයන්ට යම් යම් පුද්ගලයන් බලපෑම් කිරීම වළක්වාලීම සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත්,ඒ අනුව ලෝකයේ කවර ස්ථානයක සිට වුවද, ශ්‍රී ලාංකිකයන්ට ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවද ඔහු කීවේය.

රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් රේගු භාරයේ තිබූ වටිනා මැණික් ගල් තොගයක් ටෙන්ඩර් කිරීමට යෑමේදී ව්‍යාපාරිකයන් බියවද්දා ටෙන්ඩරය අඩු මිලට ගැනීමට තවත් ව්‍යාපාරිකයෙකු කළ උත්සාහය පිළිබඳ “දිනපතා අරුණ“ කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

රේගු මූලස්ථානයේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙම ටෙන්ඩරයේදී යම්කිසි අයෙකුගේ ඉහළම ලංසුව තැබූ පුද්ගලයා එය ඉවත් කරගෙන තිබෙන බවත්,මේ නිසා රජයට විශාල ආදායමක් ලැබෙන්නට තිබුණු අවස්ථාවක රේගුවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වෙන්දේසිය අවලංගු කිරීමට කටයුතු කළ බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් රේගුව විමර්ශනයක් සිදුකරන බවත්, එය අවසන් වූ වහාම අදාළ මැණික් තොගය ටෙන්ඩර් ක්‍රමවේදය හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරනු ලබන භාණ්ඩවල මිල තීරණය කිරීමේ ක්‍රමවේදයක් රේගුවට පවතින බවත්, මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයට අදාළව නිලධාරීන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදී තිබෙන බවත්, රේගුව විසින් අත්අඩංගුවට ගන්නා මැණික් හා රත්තරන් වෙන්දේසි කිරීමේදී මිල තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින් බවද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

රේගුවේ ටෙන්ඩර්වලට ලංසු ඉදිරිපත් කරන පුද්ගලයන්ට යම් යම් අය බලපෑම් කරන බවට රේගුවට වක්‍රාකාරව වාර්තාවී ඇතත්, කිසිදු අවස්ථාවක රේගු නිලධාරියෙකුට එවැනි බලපෑමක් සිදුකර නොමැති බවත්, මෙම මැණික් වෙන්දේසිය කල් තැබීමට අදළව කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවද ඔහු කියා සිටියේය.