ගැසට් නිවේදනයේ පමාවෙන් වරායේ සිර වූ සහල්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් තොග යම් ප්‍රමාණයක් වරායට ලැබී ඇතත් සහල් ආනයනය සීමා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර නොතිබීම නිසා එම තොග රටට නිදහස් කිරීමට නොහැකිවී ඇතැයි රේගු ආරංචිමාර්ග පවසා සිටියි.

ඉකුත් 04 වැනිදා සිට 20 වැනිදා තෙක් සහල් ආනයන සීමා ඉවත් කෙරුණු අතර, එම සීමා ලබන වසරේ (2025) ජනවාරි මස 10 වැනිදා තෙක් දීර්ඝ කරන බව වෙළෙඳ අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නේය.

එහෙත් ඊට අදාළව කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව පමණක් සහල් තොග රට තුළට නිදහස් කළ හැකි බව රේගුව පවසයි. ඉකුත් 20 වැනිදායින් පසුව මෙරට වරායට රැගෙන එන ලද සහල් තොගයක් ගොඩ ගැසී තිබෙන බව වරාය ආරංචිමාර්ග කියයි. ඉකුත් 04 වැනිදා සිට 20 වැනිදා තෙක් කාලය තුළදී ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් ආනයනය කරන ලදී. කැකුළු සහල් මෙට්‍රික් ටොන් 28,500 ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 38,500 ක තොගයක් මෙලෙස ආනයනය කර තිබිණි.