ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කමිඳු සහ චමරිට තවත් සම්මාන බලාපොරොත්තුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (30 වැනිදා) නිකුත් කළ තවත් ‘2024 අයි.සී.සී. සම්මාන’ ද්විත්වයක නිර්දේශිත නාම අතරට ඇතුළත් වීමට කමිඳු මෙන්ඩිස් සහ චමරි අතපත්තු සමත්ව සිටිති. මේ සමගින් කමිඳු සම්මාන ද්විත්වයක් සහ චමරි සම්මාන ත්‍රිත්වයක් සඳහා නිර්දේශ වී තිබීම කැපීපෙනෙයි.

කමිඳු මෙන්ඩිස් ‘වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ඊයේ නිර්දේශ වූ අතර ඔහු මෙම වසරේදී ටෙස්ට් තරග 9කට ක්‍රීඩා කරමින් ඉනිම 17කදී, ලකුණු 1,049ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ලකුණු සමාන්‍යය 74.92ක ඉහළ අගයක් ගන්නා අතර එයට මෙම වසරේ ටෙස්ට් තරග 2කට වැඩියෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරේ ප්‍රථම ස්ථානය හිමි වීම විශේෂත්වයකි. එමෙන්ම කමිඳු, වේගවත්ම ටෙස්ට් ලකුණු 1,000 පසු කළ ක්‍රීඩක ලැයිස්තුවේ දොන් බ්‍රැඩ්මන් සමගින් සම තෙවැනි ස්ථානය දිනා ගැනීමටද මෙම වසරේදී සමත්විය.

කමිඳු සමගින් මෙම සම්මානය සඳහා ජෝ රූට්, හැරී බෲක් මෙන්ම ජස්ප්‍රිට් බුම්රා නිර්දේශ වී ඇත. කමිඳු මීට අමතරව පෙරේදා (29 වැනිදා) ‘නැගීඑන ක්‍රීඩකයා’ සම්මානය සඳහා නිර්දේශ විය.

මේ අතර චමරි අතපත්තු ‘වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව’ සම්මානය සඳහා වන ‘රේචල් හෙයිහෝ ෆ්ලින්ට්’ කුසලාන සඳහා නිර්දේශ වී සිටියි. චමරි මෙම වසර තුළ එක්දින ජාත්‍යන්තර ලකුණු 458ක් හා විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 720ක් රැස් කිරීමට සමත් වූ අතර එක්දින කඩුලු 9ක් හා විස්සයි විස්ස කඩුලු 21ක් දවා ගැනීමටද සමත්ව ඇත. චමරි සමගින් ඇනබෙල් සදර්ලන්ඩ්, ලෝරා වොල්වාර්ඩ්ට් සහ ඇමේලියා කර් නිර්දේශව සිටිති. මේ අත‍ර චමරි පෙරේදා දිනයේදී ‘2024 වසරේ එක්දින ක්‍රීඩිකාව’ සහ ‘2024 වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව’ යන සම්මාන යුගලය සඳහාද නිර්දේශ විය.