තලපති විජේයි දේශපාලනයට එන ලකුණු – “මම විශිෂ්ඨ දේශපාලන ප්‍රවේශයකට සූදානම්”

තමන් නව පක්ෂයක් ආරම්භ කර දේශපාලනට ප්‍රවේශ වීමට සූදානම් බව, ලොවක් ආදරය කරන දමිළ සිනමා නළු විජේයි එහෙමත් නැත්නම් කවුරුත් දන්න ”තලපති විජේයි” මීට ඉහත ප්‍රකාශ කරලා තිබුණා.

ඒ කතාව තහවුරු වන සිදුවීම් කිහිපයක්ම ගෙවුණු කාලයේ අපිට අහන්න දකින්නත් ලැබුණා.

ඒ තම දේශපාලන අරමුණු පෙරටු කර ගනිමින් රසික හමු පැවැත්වීමත් එක්ක.

ඒ වගේම ඔහු සිය 70 වැනි චිත්‍රපටය නිම කිරීමෙන් පසු සිනමාවෙන් සමුගන්නා බවටත් කතා පැතිරෙන්න වුණා.

කොහොම නමුත් විජේයි කියන්නෙ එදා මෙදා තුර සෑහෙන රසික ආකර්ෂණයක් දිනූ දමිළ සිනමාවේ සුවිශේෂී සලකුණක්. ඒ නිසාම ඔහුට ඇති ”ජන ආකර්ෂණය” ගැන නම් සැක සංකා රහිතයි.

‘’ලියෝ’’ තිරගත ඉවර වෙන්නත් කලින්මයි ඔහුගේ මේ දේශපාලන ආගමනය ගැන කතාව පැතිරෙන්න ගන්නෙ.

නමුත් විජේයිගේ දේශපාලන සූදානම ඔහු මෙතෙක් දිනූ රසික ආදරයට හරස් වුණේ නම් නෑ.

මොකද විජේයි රඟන ‘’ලියෝ’’ රජිනිකාන්ත්ගේ ”ජේලර්” පවා අභිබවා යන්න සමත්කම් දක්වනවා.

කොහොම නමුත් ප්‍රබල රසික පිරිසකට හිමිකම් කියන ඔහු සිය රසික සමාජය හරහා සුබසාධන කටයුතු කිහිපයක්ම කරමින් ඉන්නේ.

ඒ නිසාම ඔහු දේශපාලනයට එන්න තියෙන අවස්ථා ගැන නිතරම වගේ කතා පැතිරෙන්න වුණා.

මේ ගැන අහන්න ලැබෙන අලුත්ම ආරංචිය තමයි මුළු ඉන්දියාවම සූදානමින් පසුවන, තවත් මාස කිහිපයක් ඇතුළත පැවැත්වීමට නියමිත ලොක් සභා මැතිවරණයට (Lok Sabha elections) විජේයි ද සූදානමින් ඇති බව.

ඒ කියන්නෙ විජේයි තව මාසයක් වැනි කෙටි කාලයකදී දේශපාලන ප්‍රවේශය සිදුකරන විත්තිය.

මේ අතර ඔහු සිය දේශපාලන පක්ෂය ලියාපදිංචි කරලා කියලත් කතාවක් තියෙනවා.

ඒ ගැන ඉදිරියේදී නිල වශයෙන්ම දැනුම් දීමක් සිදුකරනු ඇති.

විජේයිට හොඳ දේශපාලන සූදානමක් තියෙනවා කියන කතාව නම් විවිධ කාරණා එක්ක ඔප්පු වෙමින් පවතිනවා.

ඒ ඔහුගේ රසික සමාජය හරහා කරන කියන වැඩ කටයුතුත් එක්ක.

ඒ අනුවයි බොහෝදෙනා පෙන්වා දෙන්නෙ මූලික පියවර නිවැරදිව තබමින් විජේයි ”විශිෂ්ට දේශපාලන ප්‍රවේශයකට” සූදානම් බව.

මෑත කාලීනව කලා තරු දේශපාලන ආගමනයේදී වැඩි සාර්ථකත්වයක් නොලද බවයි දක්නට ලැබුණෙ. හැබැයි බොහෝදෙනා විශ්වාස කරනවා, තලපති විජේයිගේ දේශපාලන ගමන් මඟ ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් වෙයි කියලා.

ඉතින් එහෙනම් අපිත් බලාගෙන ඉමු, සිනමා තිරයේ අති සාර්ථක වුණු විජේයි දේශපාලන වේදිකාවේ කෙසේ කටයුතු කරාවිද කියලා..