ත්‍රිකුණාමලය මුහුදු තීරයෙන් Target drone යානයක්

ත්‍රිකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ ඩ්‍රෝන යානාවක් ධීවර කාර්මික පිරිසක් විසින් ඊයේ (26) රාත්‍රීයේ සොයාගෙන ඇතැයි වරාය පොලිසිය පවසයි.

ගුවන් හමුදාව සඳහන් කළේ, අදාළ ධීවරයින් පිරිස විසින් එම යානය මුහුදේ පාවෙමින් තිබී සොයාගෙන ගොඩට රැගෙනවිත් ඇති බවයි.

ගොඩබිම සිට කිලෝමීටර් 35 ක් ඈත මුහුදේ පාවෙමින් තිබූ මෙම කුඩා ගුවන් යානය අඩි නවයක් දිගින් යුක්ත වන අතර බඳ වට ප්‍රමාණය අඩි තුනකි. පියාසර එක් තටුවක දිග අඩි හතරක් වන අතර දෙපස පියාසර තටු දෙකක් සහිත වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසා සිටියේ, මෙය විදෙස් රටක නිෂ්පාදිත ටාගට් ඩ්‍රෝන් වර්ගයේ යානයක් බවයි.

මීට වසර කිහිපයකට පෙර ද ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ සිට ටාර්ගට් ඩ්‍රෝන් යානයක් මෙරටට පැමිණ ඇත.

මෙම ඩ්‍රෝන යානය ගුවන් හමුදා පුහුණාවලදී, ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීමට සඳහා ඉලක්ක ගැනීමේදී ගුවන් යානා අනුරූ ලෙස භාවිත කරන්නක් බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මෙම යානය හානි දායක නොවන බවත්, පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැති බවද ඔහු කියා සිටියේය.