දකුණු කොරියාවේ ජනාධිපති හදිසි හමුදා නීතිය පනවයි

දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට ඇතුළුවීමට නොහැකි පරිද්දෙන් මාර්ග බාධක යොදා වසා දැමීමට එරට පොලිසිය කටයුතු කළ අතර විශේෂ බළකා සෙබළුන් පාර්ලිමේන්තුව තුළට බලෙන් ඇතුළු විය.

විරුද්ධ පක්ෂයේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමටත් උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගයන්ගෙන් දකුණු කොරියාවට එල්ල වන තර්ජන වලින් රට ආරක්ෂා කර ගැනීමටත් හමුදා නීතිය පැනවීමට තීරණය කළ බව ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවැසුවේය.

හමුදා නීතිය යටතේ නැවත වරක් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දකුණු කොරියාවක් ගොඩනැගීමට කටයුතු කරන බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය. රාජ්‍ය විරෝධීන් රට තුළ නොසන්සුන් තත්වයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එවැනි තත්වයක් මත දකුණු කොරියානු ජනතාවගේ නිදහස හා ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා නීතිය පැනවීමට සිදු වූ බවත් ජනාධිපති යුන් සුක් යෝල් පැවැසුවේය.

දකුණු කොරියානු පාර්ලිමේන්තුව ජාතික මෙහෙයුම්, මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සහ මහජන ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය අයවැය සම්පුර්ණයෙන්ම කප්පාදු කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.ඉන් රාජ්‍යයේ මූලික කාර්යයන් හෑල්ලුවට ලක්වී රට කඩා වැටීමට ලක්වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

හමුදා නීතිය ඉවත්කරන තුරු ජෙනරාල් පාර්ක් අන් සෝ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය.