දරුවන්ට සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන ගැන අධිකරණයෙන් නියෝගයක්

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට අමෙරිකාවේ “නෙක්මැක්” ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (10) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර ඇත.

එම කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ අමෙරිකාවේ පිහිටි මෙම “නෙක්මැක්” නමැති අන්තර්ජාල ආයතනය ලෝකයේ රටවල් අටක සාමාජිකයන් ලෙස බැඳී ඇති බවත් එසේ සාමාජිකත්වය ලබාගෙන ඇති රටවල්වල දරුවන්ට අදාළ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් එම ආයතනය නිරන්තරයෙන් සොයා බැලීම් කටයුතු සිදු කරන බවයි.

එම සොයාබැලීම් කටයුතු සිදු කරන අතරතුර ශ්‍රී ලාංකික දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කුමන හෝ පරිගණක උපාංගයක් හරහා මුදාහැර තිබෙන බවට එම ආයතනයේ “නෙක්මැක්” මෘදුකාංගයක් මගින් සොයාගෙන ඒ බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව ද එම කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

එමෙන්ම දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප ජංගම දුරකථන තුළ බාගත කරගෙන ඇති මෙරට කිසියම් පිරිසක් එම අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව ද එම කාර්යාංශය අධිකරණයට දන්වා ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එසේ නියෝග කළාය.