දිවයින පුරා පාසල් 1000ක් ‘ක්ලීන්’ කරයි

‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ මාස දෙකකටත් අඩු කාලයක් ඇතුළත දිවයින පුරා තෝරාගත් පාසල් 1,000ක පාසල් පරිශ්‍රයන් පිරිසුදු කිරීමේ හා අබලන් වී ඇති ඩෙස්-පුටු ඇතුළු පාසල් උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ආරම්භ කර තිබේ.

‘රට හදන පරපුරක – වෙමුද අපි මුල් පුරුක’ තේමාව යටතේ ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය, අදාළ පාස‍ල්වල විදුහල්පතිවරුන් සහ පාසල් ප්‍රජාවගේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබේ. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය හා තාක්‍ෂණික දැනුම ලබා දෙනු ඇත.

එහි පළමු අදියර යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි තෝරාගනු ලැබූ පාසල් 200ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ අනුව පසුගියදා යුද හමුදාවේ දායකත්වයෙන් ඉළුක්ඕවිට ප්‍රාථමික විද්‍යාලයේදීද, නාවික හමුදා දායකත්වයෙන් මෝදර ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේදීද, ගුවන් හමුදා දායකත්වයෙන් මහවත්ත සාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේදීද, ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරිණි.