නිත්‍යානුකූල නොවන මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි

රජයට විශාල බදු මුදලක් අහිමි කරමින් නිත්‍යානුකූල නොවන ආකාරයට හොර රහසේ පවත්වාගෙන යන ලද මහා පරිමාණයේ අරක්කු නිෂ්පාදනාගාරයක් වැටලීමට විශේෂ කාර්ය බලකාය සමත්වී තිබෙනවා.

ඒ අනුව කිරිබත්ගොඩ ප්‍රදේශයේ, අංක 17, මායා ටෙරස්, කිරිබත්ගොඩ යන ලිපිනයේ පිහිටි නිවසේ දී ඉතා සූක්ෂමව පවත්වාගෙන යන ලද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී ඇති බව සඳහන්.

රජයේ අනුමත ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන ආයතනයක නාමය භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද මි.ලී. 180 බෝතල් 5000 ක් ද බෝතල් කිරීමට සූදානම්ව තිබූ මත්පැන් ලීටර 266ක්ද, එතනෝල් ලීටර් 110 ක්ද සීල් කරන යන්ත්‍රයක් ඇතුලු තවත් උපකරණ කිහිපයක් අත්ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 37ත් අතර වන අතර සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජා ඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කලාරසික විජේසිංහ මහතා වෙත භාර දී ඇති බව සඳහන්.

නියමිත ප්‍රමාණයන් ඉක්මවා ⁣ව්‍යාජ ලෙස සකස් කරන මෙම මත්පැන් නිසා රජයට විශාල ලෙස බදු මුදල් අහිමි වන බව අනාවරණය වී තිබෙනවා.