පළාත් පාලන මැතිවරණ නිවේදන උසස් පෙළ විභාගයෙන් පසුව

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත් නොකිරීමට තීරණය කර තිබෙයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ව විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පස්වරුවේ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

මෙහිදී පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නාමයෝජනා යළි කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ද නියමිතව තිබෙයි.

දැනට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයින් පක්ෂ මාරුවීම, ඇතැම් පුද්ගලයින් විදෙස්ගත වීම හා තවත් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කර තිබු නාමයෝජනා අවලංගු කිරීම දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව ද සඳහන් වේ.