පිටකොටුවේ බස් පොළේ කඩ පාතාලය අ​තේ

ලංකා ගමනා ගමන මණ්ඩලය යටතේ පාලනය වන මෙරට ප්‍රධානම බස් නැවතුම්පොළ වන්නේ පිටකොටුවේ පිහිටා තිබෙන මධ්‍යම බස් නැවතුම් පොළයි.රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බස් ධාවනය වන මෙම බස් නැවතුම්පොළ ලංගමයේ හදවත බදු වූවත්,වසර ගණනාවක් තිස්සේ එය නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා අද දිස්වන්නේ “අපායක්“ ලෙසිනි.එපමණක් නොව පාතාලයේ හෙංචයියන් බස් නැවතුම්පොළ අරක්ගෙන ඇත්තේ මළ පෙරේතයින් ලෙසිනි.

මධ්‍යම බස් නැවතුම්පොළෙන් දිනකට බස් රථ 1,200 ක පමණ මෙහෙයුම් කටයුතු සිදු වන්නේය.උතුරේ පේදුරු තුඩුවටත්,දකුණේ දෙවුන්දර තුඩුවටත්,සීතල නුවරඑළිය ඇතුළු රටේ සිව් කොනටම පැය 24 පුරා බස් නැවතුමෙන් බස් පිටත් වන්නේය.මධ්‍යම බස් නැවතුම් පොළෙන් ලංගම බස් සේවාවන් ලබා ගැනීමට දිනකට මගීන් 40,000 කට අධික පිරිසක් දිනපතා පැමිණෙන්නේය.උත්සව සමයන්හිදී එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යන්නේය.මෙවන් අති විශාල මගීන් පිරිසක් පැමිණෙන මධ්‍යම බස් නැවතුම්පොළේ මගීන්ට තිබෙන පහසුකම් අල්පය.කොටින්ම කියතොත් මගියකුට රැදී සිටීමට තරම්වත් සුදුසු පරිසරයක් මේ බස් නැවතුම්පොළ් නැත්තේය.

බස් නැවතුමට ප්‍රවේශ වීමට තිබෙන ප්‍රධාන මාර්ගවල ආරම්භක ස්ථානවල දක්නට ඇත්තේ යෝධ වළවල්ය.වැසි දිනවලදී මේවා මඩ පොකුණු බවට පත්වේ.වැසි දිනවලදී බස් නැවතුම් පොළට ඇතුළුවීමට සිදුවී ඇත්තේ මඩ නාග‍ෙනය.එම වළවල්වලට තාර ටිකක් දමා පිළිසකර කිරීමට කොළඹ මහ නගර සභාවවත් අවධානය යොමු කර නැත.

බස් නැවතුම්පොළ වටා තිබෙන කාණු පද්ධති දිස්වන්නේ මිහිපිට අපායන් ලෙසිනි.වෙළෙඳ සල්වලින් බැහැර කෙරෙන අප ජලය මේ කාණු පද්ධති හරහා ගලා යන්නේය.කාණු උතුරා එම අප ජලය බස් නැවතුම්පොළේ ඇතුම් ස්ථානවල ගලා යන්නේය.වැසි දිනවලදී පොදු වැසිකිළිවළ ගලි උතුරා යන්නේය.විදෙස් සංචාරකයන් පවා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නිතර පැමිණෙන ප්‍රධාන බස් නැවතුම්පොළ සංචාරක ආකර්ශන ස්ථානයක් බවට පත් කිරීමට කිසිවකුගේ අවධානය යොමුවී නැත්තේය.බස් නැවතුම්පොළේ තැන තැන බුලත් කෙළ ගසා අපිරිසිදු කර ඇත.නැවතුම්පොලේ බිත්තිවල හුණු ඇතිල්ලූ සලකුණු පිරී ඇත්තේය.

මගීන් 40,000 ක් පමණ සිය ප්‍රවාහන අවශ්‍යතා සපයා ගන්නා මෙම බස් නැවතුම්පොළ පර්යන්තවල මගීන්ට අසුන් ගැනීමට ඇත්තේ ප්ලාස්ටික් අසුන් 400 කි.එම අසුන් රැසක් අබලන්ය.ඇතැම් පුටු පේළිවල ඇත්තේ යකඩ පටි කිහිපයක් පමණි.ප්ලාස්ටික් පුටු රැසක් කැබලි කැබලිවලට වෙන්වී ඇත.රාත්‍රී කාලයේදී මේ අසුන්වල අයිතිකරුවන් වන්නේ පිටකොටුවේ යාචකයන්ය.මගියෙකුටවත් අසුන් ගැනීමට ඉඩක් නොතබා මේ යාචකයන් බස් නැවතුම්පොලේ ආසන පේළිවල දිගාවී සුවසේ නිදා ගනිති.

රාත්‍රි කාලයේදී දුර ගමන් සේවා බස් රථවලට ගොඩවන යාචකයන්ගෙන්ද අඩුවක් නැත.සමහරු බස් රථයෙන් බැස යන්නේ මගීන්ගේ ගමන් මලුද සොරකම් කරගෙනය.මගීන්ගේ පහසුව වෙනුවෙන් මධ්‍යම බස් නැවතුම්පොලේ තැන තැන ජල කරාම සවිකර ඇතත්,ඒවායින් වැඩිපුරම පහසුකම් ලබා ගන්නේ යාචකයන් සහ බස් නැවතුම් පොලේ වෙළෙඳසල් පවත්වාගෙන යන්නන්ය.යාචකයන් රාත්‍රි කාලයේදී ස්නානය කරන්නේද මේ ජල කරාම වලිනි.වෙළෙඳසල්වල කටයුතු සඳහා ජලය සපයා ගන්නේද පොදු ජල කරාම වලිනි.ජලය අවිධිමත් ලෙස අවභාවිතය ඉහළ යාමත් සමග දුරගමන් සේවා බස් රථවල ආසන වෙන්කරන කාර්යාලය ඉදිරිපිට තිබූ ජල කරාම පද්ධතිය විසන්ධි කිරීමට මධ්‍යම බස් නැවතුම්පොලේ පාලනාධිකාරිය පසුගියදා කටයුතු කළේය.

බස් නැවතුම්පොලේ පොදු වැසිකිළිය භාවිත කරන එක් මගියකුගෙන් අය කළ යුත්තේ රුපියල් 20 ක් පමණක් බව මධ්‍යම බස් නැවතුම්පොළේ පාලනාධිකාරිය විසින් දැනුම්දී ඇතත්,එහි අය කරන්නේ හිතූ හිතූ මිල ගණන්ය.වැසිකිළිය භාවිත කරන මගියෙකුගෙන් මෙම පොදු වැසිකිළියෙන් රුපියල් 40 ක් හෝ 50 ක් අය කරන්නේය.වැසිකිළි ගාස්තුව රුපියල් 20 ක් බවට මධ්‍යම බස් නැවතුම් පොළේ පාලනාධිකාරිය විසින් දැන්වීම් පූවරු පවා ප්‍රදර්ශනය කළද,ඒවා ඉවත් කිරීමට පවා වැසිකිළිය පවත්වාගෙන යන පිරිස කටයුතු කරන්නේය.

මෙහි දුර ගමන් සේවා ක්‍රියාත්මක වන ඇතැම් පර්යන්තවල මගීන්ට රැදී සිටීමට සිදුවී ඇත්තේ දැඩි අව් රශ්මිය මැද්දේය.වර්ෂාව සහිත දිනවල නම් තෙමි තෙමීය.ඊට හේතුව ඒවායෙහි තහඩු වහවල් ගැලවී යාම නිසාවෙනි.

බස් නැවතුම්පොලේ ආහාර අලෙවි කරන වෙළෙදසල් රැසක් ස්ථාපිත කර ඇතත්,ඒවා සියල්ලම සිදු කරන්නේ මගීන් සූරා කෑමය.වෙළෙඳුන්ට හිතූ හිතූ මිල ගණන්වලට ආහාර අලෙවි කරන්නේය.මෙහි ආහාර වෙළෙඳ සැල් බොහොමයක් දැඩි අපිරිසිදුය.වෙළෙඳ සැල්වල මීයන්,කැරපොත්තන් පිරී ඇත්තේය.ආහාර අලෙවි කිරීමේදී කිසිදු අත් ආවරණයක් භවිතා නොකරති.කල් ඉකුත්වූ,නරක් වූ ආහාර පවා මේ වෙළෙඳ සල්වලින් මගීන්ට අලෙවි කළත් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඒ ගැන අවධානය යොමු නොකරන්නේය.

මෙම වෙළෙඳ සල්වල කටයුතු මෙහෙය වන්නේද පාතාලය විසිනි.ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් මෙම වෙළෙඳසල් පවත්වාගෙන යාමට අවසරය ලබාදී ඇත්තේ කුලී හෝ බදු පදනම මතය.එහෙත්,මෙම ගිවිසුම් දශක දෙකකින් පමණ යාවත්කාලීන කර නොමැති බව පැවැසේ.මෙම වෙළෙඳ සල් පවත්වාගෙන යාමට අවසරය ලබාදී ඇත්තේ කුඩා ජංගම වෙළෙඳසල් ලෙසිනි.නමුත් අද වෙද්දී මේ වෙළෙඳ සැල් අඩි 10 ක් දිග අඩි 10 ක් පළලැති විශාල වෙළෙඳ සල් දක්වා පරිවර්තනයවී ඇත්තේය.මෙම වෙළෙඳ සලකින් මධ්‍යම බස් නැවතුම් පොළට මාසික කුලිය ලෙස ගෙවන්නේ රුපියල් 3500 ක් වැනි මුදලකි.නමුත්,මෙම වෙළෙඳසල් පවත්වාගෙන යාමට ගිවිසුම්ගතවූ ඇතැමුන් වෙනත් පුද්ගලයන්ට එම කඩ කුලියට දී ඇත්තේ මාසයකට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එක හමාරක මුදලකටය.වෙළෙඳසල් පවත්වාගෙන යන බොහෝ මාසික කුලී මුදල් ගෙවීම පවා මගහරින්නේ මැර බලය යොදා ගෙනය.

බස් නැවතුම්පොළේ ප්‍රධාන හෝටලයේ මගීන්ට නවාතැන් පහසුකම් පවා සලසා ඇත.මෙම ගොඩනැගිල්ල ඉදිකරන ලද හෝටල් හිමියා මධ්‍යම බස් නැවතුම් පොළට ගෙවිය යුතු බදු මුදල ගොඩනැගිල්ල ඉදිකරන ලද මුදලින් අඩු කරන්නේය.මේ ගොඩනැගිල්ලේ මාසික ජල,විදුලි බිල්පත් ගෙවන්නේද ලංකා ගමනා ගමන මණ්ඩලය විසිනි.

වෙළෙඳසල් විසින් නිසියාකාරව ජල සහ විදුලි බිල්පත් ගෙවීමට කටයුතු නොකිරීම නිසා මධ්‍යම බස් නැවතුම් පොළේ මාසික ජල බිල රුපියල් ලක්ෂ 13 ක් පමණ වන අතර,මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 16 ක් පමණ වන්නේය.

මධ්‍යම බස් නැවතුම්පොළේ ආරක්ෂාව සපයනු ලබන්නේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආරක්ෂක සාමාජිකයන් විසිනි.බස් නැවතුම්පොළ තුළ ආරක්ෂකයන් 21 දෙනකු යොදවා ඇතත්,එම සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවන්නේය.පිටකොටුව පොලිස් ස්ථානය විසින් බස් නැවතුම්පොළේ ආරක්ෂක මුර ප‍ොළක් පවත්වාගෙන ගියත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේය.මේ නිසා බස් නැවතුම්පොළ සොරුන්ගේ වාසස්ථානයක් බවට පත්ව තිබේ.බස් නැවතුම්පොළේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය දැනට වසර හත අටක සිට අක්‍රිය තත්වයේ පවතින්නේය.

මගීන්ට පමණක් නොව දුරගමන් සේවා බස් රථවල රියදුරන්ට,කොන්දොස්තර වරුන්ට මෙහි තිබෙන පහසුකම්ද අවමය.ඔවුන්ගේ විවේකාගාර කාමරද අපිරිසිදුය.මෙට්ට,කොට්ට පවා අපිරිසිදුය.

මධ්‍යම බස් නැවතුම්පොළේ දැනට පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ එහි කළමනාකරු සුජීව ප්‍රියදර්ශන,

“මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීම සඳහා නව රජයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.මෙහි ගොඩනැගිලිවල තීන්ත ආලේප කර අබලන් ප්ලාස්ටික් පුටු වෙනුවට අලුත් පුටු දැමීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 28 ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලලා තියෙන්නේ.ඊට බස් නැවතුම්පොළේ ආරක්ෂිත කැමරා පද්ධතිය සකස් කිරීමද ඇතුළත් වෙනවා.මේ බස් නැවතුම්පොළේ වෙළෙඳසල් සමග දැනට පවතින ගිවිසුම් යාවත්කාලීන විය යුතුයි.මොකද මේ ගිවිසුම් අවුරුදු 20 කට වැඩිය පරණයි.

බස් නැවතුම්පොළ ඇතුළත කොටසේ වළවල් වැසීමට සහ තාර දැමීම සඳහා කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලීම් කරලා ලිපි යොමුකර දැන් මාස තුනක් පමණ වෙනවා.ඒත් ඊට නිසි ප්‍රතිචාරයක් තවමත් නෑ.“යැයි ඔහු කියා සිටියේය.

මෙහිදී,මධ්‍යම බස් නැවතුම්පොළේ සහකාර කළමනාකරු එස්.ජී.සමන්තිලක කියා සිටියේද මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම කඩිනමින් සිදුවෙතැයි අපේක්ෂා කරන බවය.

සමස්ත ලංකා ලංගම ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එස්.ආර්.වීරක්කොඩි මෙලෙස පැවසුවේය.

“මධ්‍යම බස් නැවතුම් පොළට (CBS) බස් රථ 28 ක් තිබුණත් විවිධ කාර්මික දෝෂ මත ධාවනය කෙරෙන්නේ බස් රථ 20 ක් පමණයි.මධ්‍යම බස් රථ නැවතුම්පොළේ බස් රථ තදබදය අවම කිරීම සඳහා පෑලියගොඩ මැනිං මාර්කට් එකේ ඉඩමක බස් රථ 35 ක් වත් ගාල් කරන්න අවස්ථාව දෙන්න කියලා නාගරික සංවර්ධන අධිකාරියෙන් අපි ඉල්ලීමක් කර තිබෙනවා ඒත් ඊට අනුමැතිය ලැබිලා නෑ.මධ්‍යම බස් නැවතුම්පොළේ කටයුතු කරගෙන යද්දී තවමත් සමහරු කකුලෙන් අදිනවා.ආයතනය ගොඩ ගන්න උනන්දුවක් නෑ.

ලංගමෙන් වේරහැර කාර්මික විද්‍යාලය ඉවත් කිරීම ලංගම කඩා වැටීමට මූලික වශයෙන් බලපෑවා.ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මුලින් ක්‍රියාත්මක වුණේ ලංගම හරහායි.දැන් ඒක වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පාලනය වන්නේ.මේ නිසා ලංගමට පුහුණු කාර්මිකයන් නොමැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ.නැවත එය ලංගමට දෙන්න කියලා ඉල්ලීමක් කර තිබෙනවා. “යැයි සභාපතිවරයා පැවැසුවේය.

අරුණ වෙබ් පිටුවෙන් උපුටාගැනීමකි.