පොල් ගෙඩි මිලියන 200ක ආනයනයක්

පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරීම ගැන පැන නැගී ඇති ගැටලු‍වක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ ආනයනය කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රතිඅපනයන කටයුතු සඳහා පමණක් බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එහි දැක්වුණේ වැවිලි සහ කර්මාන්ත අමාත්‍යාංශවල ලේකම්වරුන් විසින් මේ සදහා කමිටුවක් පිහිටුවා ඇති අතර එම එක් එක් ආයතනය සඳහා අවශ්‍ය වන පොල් ප්‍රමාණය කමිටුව විසින් නිර්දේශ කරනු ඇති බවයි.

කමිටුවේ අනුමැතිය අනුව අවශ්‍ය පොල් ප්‍රමාණය ආනයනය කරනු ලබන අතර, දැනට පවතින පොල් අස්වැන්න අප්‍රේල් මාසය වනතුරු ප්‍රමාණවත් නොවන බැවින් පොල් කර්මාන්තය රැක ගැනීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය තවදුරටත් සදහන් කළේ.