මැතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා සම්බන්ධයෙන් මැ.කොගෙන් දැනුම්දීමක්

මහ මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් ආදායම් හා වියදම් වාර්තා දෙසැම්බර් 6 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ආදායම් හා වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත භාරදිය යුතු වෙන බවයි

ඒ අනුව දෙසැම්බර් 6 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර මෙම වාර්තා එක් එක් මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරී වෙත භාරදිය යුතු අතර ජාතික ලැයිස්තුවෙන් නම් කළ අපේක්ෂකයින් ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය වෙත භාරදිය යුතු බව සඳහන් වේ.

මෙම ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් 17 වනදා සිට තේරීම් භාර නිලධාරී කාර්යාලවල සහ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.