මෙරට සැඟවුණු වත්කම් හොයන්න ජගත් සංවිධානයේ සහාය

රජය බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා තම සංවිධානයේ ආයතනවල සහය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා මේ බව පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ඊයේ (28) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමඟ ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ නිත්‍ය නියෝජිතවරයා ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමෙහිලා රජය ගෙනයන වැඩසටහන්වලට සම්පූර්ණ සහාය දීමට සූදානම් බවත් ඒ සඳහා මූල්‍ය ආධාර ලබාදීමට මැදිහත්වීමටත් එකඟ වී තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්ගියා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘෘ මහතාගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා දැනුම් දී ඇත.

ඉදිරි කාලයේ දී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන් නේවාසික නියෝජිතගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධව ඉතා ඕනෑකමින් සොයා බලන බවට හෙතෙම පොරොන්දු වී තිබේ.