රාජ්‍ය සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසනවා.

ඇතැම් අවස්ථාවල රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

එම චක්‍රලේඛයට අනුව අනුමත කරන ලද විදේශ නිවාඩුවක් දීර්ඝ කරවා ගැනීමට ඉල්ලීමක් කරන්නේ නම් ඒ සඳහා මුල් විදේශ නිවාඩු කාලය අවසන් වීමට පෙර ඉල්ලුම් කළ යුතු වේ.

මෙලෙස විදේශගත වන ඇතැම් නිලධාරින් අනුමත විදේශ නිවාඩු කාල සිමාව ඉක්මවා නැවත දිවයිනට පැමිණ සේවයට වාර්තා කිරීමේ ප්‍රවණතාවක් තිබීම හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එමෙන්ම නිවාඩු දීර්ඝ කිරීමක් ඉල්ලා තිබුණද එහෙත් මුල් විදේශ නිවාඩු කාල සිමාව අවසන් වීමට පෙර නිවාඩුව දීර්ඝ කිරීම සඳහා අනුමැති ලබා දී නොමැති නම් අදාළ නිලධාරියා වහාම සේවයට වාර්තා කළ යුතු වේ.