ලෝක කුසලානයේ දී ලබා දෙන ත්‍යාග මුදල් වැඩිවෙයි

2024 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ලබා දෙන ත්‍යාග මුදල් දගුණයකින් ඉහළ දැමීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය 2022 වසෙරේ දී ඔස්ට්‍රේලියාවේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාව දිනාගත් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක (රුපියල් කෝටි 48ක් පමණ) මුදලක් ලබා දී තිබුණ ද මෙවර එය ඇමරිකන් ඩොලර් මිලියන 4 (රුපියල් කෝටි 120 පමණ) දක්වා ඉහළ දමා තිබීම විශේෂත්වයක්.

2022 වර්ෂයේ දී පැවති අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව දිනාගත් කණ්ඩායමට එවර ඇමරිකන් ඩොලර් ලක්ෂ 8ක (රුපියල් කෝටි 24ක් පමණ) මුදලක් ලබා දී තිබුණ ද එම මුදල මෙවර දෙගුණයකටත් වඩා වැඩි වෙමින් ඩොලර් මිලියන 2ක් (රුපියල් කෝටි 60ක් පමණ) දක්වා ඉහළ දමා තිබෙනවා.

අවසන් වරට පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් පූර්ව වටයට පැමිණ පරාජය වන කණ්ඩායමට ඇමරිකන් ඩොලර් ලක්ෂ 4ක මුදලක් (රුපියල් කෝටි 12ක් පමණ) ලබා දී තිබුණ ද මෙවර එය දෙගුණ වෙමින් ලක්ෂ 8ක මුදලක් (රුපියල් කෝටි 24ක් පමණ) ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

මේ අතර පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයන්ට ලබා දුන් මුළු ත්‍යාග මුදල ඇමරිකන් ඩොලර් මිලියන 5.6ක් වුව ද මෙවර එය මිලියන 10 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වනවා.