වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට එක්වෙයි

මේ දින‍යන්හී දිවෙමින් පවතින වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මාන්ත කලාපවලට විදුලිය සැපයීම සඳහා ඉදිකරන ලද මෙම ග්‍රිඩ් උපපොළ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් මිලියන 2300ක මුදලක් ආයෝජනය කර ද ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද අක්කර පහක පමණ භූමි භාගයක ඉදිකර ඇති මෙම නව ග්‍රිඩ් උපපොළ දැනට පවතින කර්මාන්ත සඳහා විදුලි සැපයුමේ ස්ථායිතාවය හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ ඉදිරියේදී ඇතිකිරීමට අපේක්ෂිත කර්මාන්ත සඳහා ස්ථායි මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් 90 MVAl ධාරිතාවකින් යුතුව ඉදිකර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ තැනීම් ව්‍යාපෘති (TCP) ශාඛාව විසින් මෙම නව ග්‍රිඩ් උපපොළ සැලසුම් කිරීම, ඉදිකිරීම සහ පද්ධතියට එක් කිරීම සිදුකරන ලද අතර ලංකා විදුලිබල මණ්ඩලයේම ඉංජිනේරුවන්, අධිකාරිවරුන් සහ සියලු කාර්යමණ්ඩලවල ක්ෂේත්‍ර සේවකයන්ගේ සේවය මේ කාර්යයන් සඳහා යොදවා ගන්නා ලදී. වගවත්ත ග්‍රිඩ් උපපොළ යනු, සම්පූර්ණයෙන්ම ලංකා විදුලිබල මණ්ඩල කාර්යමණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පළමු ග්‍රිඩ් උපපොළ ලෙස හැඳින්විය හැකිය.