වතු කම්කරුවන්ට තර්ජනයක් වූ කඳුකර කොටියන්

වටවල ෂැනන් වතුයායේ සැරිසරන කඳුකර කොටියන් සිව්දෙනෙකු හේතුවෙන් එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ ජිවිත දැඩි අවධානමකට ලක්ව ඇත.

එහිදී වතු අධිකාරි අර්ජුන මැදගම මහතා පැවසූයේ තේ වත්තේ සැරිසරන එම කඳුකර කොටියන් පසුගිය සතිය තුල පමණක් වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් දස දෙනෙකු පමණ ගොදුරු කරගෙන ඇති බවටයි.

එමෙන්ම, සුනඛයන් ගොදුරු කරගෙන තේ වත්තට රැගෙන ගොස් සුනඛයාගේ හිස පමණක් ඉතුරු කර ඉතිරි කොටස කා දමන බවද වතු අධිකාරිවරයා කියා පවසා තිබෙනවා.

තම වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ තේ ඇඹරීම් කටයුතු සිදු කිරීම රාත්‍රි කාලයේ සිදු කරන බවත්, වතු නිවාස වල සිට වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාව වෙත තේ වත්ත හරහා පැමිණීමේදී එම සේවකයින්ට කඳුකර කොටියන් මුහුණට මුහුණ හමුවන නිසා එයට බිය වී වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාවේ දෛනික වැඩකටයුතු වලට පැමිණිමෙන් වැළකී සිටින බවද වතු අධිකාරිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම වන සතුන් දඩයම් කිරීම සඳහා ඇතැම් වතු කම්කරුවන් අටවනු ලබන කම්බි උගුල්වලට මෙම කඳුකර කොටියන් හසුවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් වත්තේ සැරිසරන කඳුකර කොටියන් අසල රක්ෂිතයට පළවා හැරීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරින්ගෙන් වතු අධිකාරිවරයා ඉල්ලා සිටිනවා.