වෘත්තීය පුහුණු පාඨමාලාවලට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

පාසල් හැර ගිය තරුණ පිරිස් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින නිපුණතා සංවර්ධන නිලධාරීන් යොමු කර ඇති බවය.

එම නිලධාරීන්, ගම්මට්ටමින් තරුණ තරුණියන් දැනුවත් කරමින් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සියලු ග්‍රාම නිලධාරීවරුන් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විවිධ කුලසතාවන්ගෙන් පිරි තරණ තරුණියන් සඳහා මේ වනවිට වෘත්තිය පුහුුණු පාඨමාලා 1500ක් පමණ ක්‍රියාත්මක වන බවයි.

ඇතැම් පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර ඇතැම් පාඨමාලා සඳහා සීමිත මුදල් ගෙවීමක් කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා සඳහන් කළේ, වාර්ෂිකව වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා තරුණ තරුණියන් 135,000 ක් පමණ යොමු වන බවයි.

එම පුහුණු වීම් සාර්ථකව අවසන් කරන තරුණ පිරිස් සඳහා (NVQ) හෙවත් ජාතික නිපුණතා සහතික නිකුත් කෙරෙන අතර එම සහතිකය දෙස් විදෙස් රැකියා සඳහා වලංගු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.