ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපයේ සිසුන් 850 ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබන අතර, සිසුන් හට ක්‍රීඩා කිරීම හා ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් නොමැති වීම දැඩි අඩු පාඩුවක්ව පවතින බවයි සඳහන් වන්නේ.

එබැවින් ශ්‍රී පාලි මණ්ඩපයට යාබදව ඇති කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් වන, දැනට කිසිදු වගාවක් සිදු කර නොමැති අක්කර 2.5ක් වන ඉඩම් කොටසක් පොදු ක්‍රීඩාංගණයක් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි වෙන් කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එම ඉඩම් කොටස වන්දි රහිතව නිදහස් කිරීමට කොටගල වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇති අතර, එම කාර්යය සඳහා එකී ඉඩම් කොටස වෙන් කර දීම සම්බන්ධයෙන් එම ඉඩම්වල ස්වර්ණමය කොටස් හිමිකරු වශයෙන් භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ලැබී තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් ඉඩමෙන් අක්කර 2.5 ක ප්‍රමාණයක් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා.