ශ්‍රී ලංකාව නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක්

ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් ලැබීමට සමත් විය.

මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ තරගය ඊයේ (29) සාජාහිදී පැවැත්විණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ශාරුජන් ෂම්මුගනාදන් (62) හා ලක්වින් අබේසිංහ (50) අර්ධ ශතක රැස්කළහ. එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නේපාලයට පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ආරම්භක පිතිකරු මායන් යාදව් ලකුණු 62ක් රැස්කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවූ අතර ප්‍රවීන් මනීෂ ලකුණු 30කට කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ඊට අමතරම නිව්ටන් රංජිත්කුමාර් (2/17), කුගදාස් මාතුලන් (2/21) හා නායක විහස් තෙව්මික (2/51) කඩුලු 2 බැගින් දවාගත්තේය. තරගයේ වීරයාට හිමි සම්මානය ශාරුජන් ෂම්මුගනාදන්ට හිමිවිය.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ‘A’හා ‘B’ ලෙස කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එහි ‘B’කාණ්ඩයෙන් ක්‍රීඩාකරයි.

මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය හෙට (1) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.