ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු සටන හෙට

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (28 වැනිදා) මවුන්ට් මංගනුඊ හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.

හෙට ඇරැඹෙන විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව මෙම වසරේ සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය වේ. කෙසේ වෙතත් තරගාවලියේ දෙවැනි තරගය 30 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ එළැඹෙන වසරේ ජනවාරි 2 වැනිදා වීම විශේෂත්වයකි. හෙට තරගය සඳහා වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් ලැබීමට වැඩි ඉඩක් පවතින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකු හෝ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු යොදා ගැනීම සඳහා ඉඩක් ඇත.