ශ්‍රී ලාංකිකයන් 8000කට කොරියාවේ රැකියා අවස්ථා

මේ වසරේ ශ්‍රී ලාංකිකයින් අටදහසකට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසනවා.

සභාපතිවරයා තවදුරටත් පවසන්නේ නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින්නන් මෙරටට ගෙන්වීමට වහා කටයුතු කරන බවයි.

දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන 96 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කරමින් කෝෂල වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ඔවුන් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා මේ වසරේ පිටත්ව යන පළමු කණ්ඩායමයි.

නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින අයගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඉදිරි නීතිමය පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

විදේශ රැකියාවල නිරත වූවන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් මිලියන 6,000ට අධික මුදලක් මෙරටට සපයාදෙන බවද ඒ මහතා පැවසුවා.