සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීමට තීරණයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවලට විසදුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව, සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම, කාර්යසාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන, එම ගැටලු විශ්ලේෂණය කර ඒ සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට නියමිත බවයි, අද (03) පැවැති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.

අමාත්‍යවරුන් / නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහායවීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී සංවර්ධන නිලධාරින්ගේ හා ආශ්‍රිත සේවා ගණයන්හි සේවය කරන නිලධාරින්ගේ නිපුණතා හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගයීමක් සිදු නොකර රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදු කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේදී පෙන්වාදී තිබෙයි.

ඔවුන්ට සේවාරම්භක හා සේවාස්ථ පුහුණු නිසිපරිදි ලබා නොදීම හේතුවෙන් හා විධිමත් පරිදි තනතුරට අදාළ කාර්යයන් සහ වගකීම පැවරීම සිදු නොකිරීම හේතුවෙන් එම නිලධාරින් වෙතින් අපේක්ෂිත කාර්යසාධනය ළඟා කරගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත.