සමූපකාර සමිති සම්බන්ධයෙන් කඩිනම් විගණනයක්

සමූපකාර සමිති සම්බන්ධයෙන් කඩිනම් විගනණයක් ආරම්භ කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා .

අද(07) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ .

ඉදිරියේදී සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ කිසිදු ණය දෙන සමිතියක් ලියාපදිංචි කරන්නේ නැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“මූල්‍ය කටයුතු සිදු කරන සමූපකාර සමිති සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් එනවා. මෙවැනි සමිති 4,986 ක් තිබෙනවා. මිනිසුුන්ගේ තැන්පත් මුදල් ගෙවන් නැති ප්‍රශ්නත් තිබෙනවා. මෙම සමිති සම්බන්ධයෙන් නීතිමය ගැටලු සහ තැන්පත් කරන මුදල් සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ ගැටලු රාශියක් තිබෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැඩි නීතිමය ප්‍රතිසංශෝධනයන්ට යා යුතුව තිබෙනවා.

පසුගිය කාලයේ ආණ්ඩුකාරවරු පවා මැදිහත් වෙමින් මෙවැනි සමිති පිහිටුවා තිබෙනවා .

මෙම ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට කටයුතු කරන අතර ඉදිරියේදී මෙම ණය දෙන සමූපකාර සමිති සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කිරීමට අමාත්‍යංශය කටයුතු කරනවා”.