සිය නියෝජිතයන් නැතිව දෙවැනි මනාපය ගන්නාට සජබයෙන් විරෝධය

සිය නියෝජිතයන් නොමැතිව දෙවැනි මනාපය ගණන් කිරීම නීති විරෝධී බව කියමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජිතයෝ ඊයේ (22දා) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මෙලෙස සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික රණවක, තිලංග සුමතිපාල සහ සුජීව සේමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසම වෙත ගොස් මෙම පැමිණිල්ල භාරදී තිබේ.

එහිදී අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පවසා ඇත.

“මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනාගෙන් කිසිවකු මුළු ඡන්ද සියයට 50ක් ලබා ගත්තේ නෑ. ඒ නිසා දෙවැනි මනාපයකට යා යුතුයි. ඒ පිළිබඳව අප දැනුවත් කිරීමට පෙර අපේ නියෝජිතයන් නොමැතිව දෙවැනි මනාපය ගණින්න ගිහින් තිබෙනවා. ඒ ගැන අපි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිල්ලක් කළා. එතුමා නියෝගයක් කළා දෙවැනි මනාපය ගණන් කිරීම වහාම නැවත අලුතෙන් ආරම්භ කරන්න කියලා.”